Tuesday, April 22, 2008

අවසන් හුස්ම දිගේ මහරගමින් ස්කොට්ලන්තයට

පියවි ඇසින් ඔබ්බට

අප විසින් කරනු ලබන යහපත් කි‍්‍රයාවලට ආනිශංස ලෙස යහපත් ප‍්‍රතිඵල ද අයහපත් පාපී කි‍්‍රයාවලට ආදීනව ලෙස අයහපත් ඵල විපාක ද මරණයෙන් මතු විඳින්නට සිදු වන බව අපි දනිමු. මේ ලිපියෙන් කියැවෙනුයේ වර්තමාන ජීවිතයේ මා අත් දුටු කාරණා කීපයකි. මේ සිද්ධි වෙන කෙනකු ගේ නොව මගේ ම බිරිය ගේ ජීවිතය තුළින් හෙළිදරව් වූ ඒවා ය. ඇගේ නම චන්ද්‍රා විතාන හෙවත් චන්ද්‍රා විජේතිලක ය. ඇය දිරිය බිරියක් මෙන් ම දිරිය මවක් ද වූවා ය.

1998 වර්ෂය වන විට අපි මතුගම නගරයේ සිල්ලර වෙළෙඳ සලක් පවත්වා ගෙන ගියෙමු. එතැන සිට අපේ නිවසට දුර කිලෝ මීටර් තුනක් පමණ වේ. උදේ පාන්දර නැගිට දරුවන් අවදි කරවා, උයා පිහා, ළමයින්ට කවා පොවා පාසල් යවා, නිවසේ සිටින මගේ මෑණියන්ට ද උදේ - දහවල් ආහාර සකසා තබා මා සමඟ වෙළෙඳ සලට යෑම ඇගේ සිරිත ය. ආපසු නිවසට එන්නේ රාත‍්‍රි 7 න් පසුව ය.

එදා 1998 නොවැම්බර් මස 06 වෙනි දා ය. දහවල් 12 ට පමණ චන්ද්‍රා මා අමතා “ඒයි, අපි කඩේ වහලා ගෙදර යමු” යි කීවා ය.

නගරයේ වෙළෙඳ සලක් දහවල් 12 ට පමණ වසා දමන්නේ ඉතා ම විශේෂ හේතුවක් වුණොත් පමණි. චන්ද්‍රා ගේ යෝජනාව මගේ මවිතයට හේතු විය.

”ඇයි මොකද හදිසියේ?” යි මම ඇසීමි.

”හදිසියක් නෑ. දැන් අම්මටත් වයසයිනේ. අපි කඩේ වහල ගෙදර ගිහින් අම්මා දොස්තර මහත්තයෙක් ළඟට එක්කර ගෙන ඇවිත් පෙන්නලා එයාට සුදුසු විටමින් වගේ දෙයක්වත් අරගෙන දෙමු. එයාගෙ හිතත් සතුටු වේවි නේ” යි චන්ද්‍රා කීවා ය.

මම ද ඇගේ කීමට එකඟව වෙළෙඳ සල වසා ඇය සමඟ ගෙදර (යතුරු පැදියෙන්) ආවෙමි. එන අතරමග දී හිතවත් ති‍්‍රරෝද රථයකට ද (ජී. ඩී. සේනාරත්න) අපේ ගෙදරට එන්නට යැයි කියාගෙන ආවෙමි’

අප නිවසට එන විට මගේ මව නිවසේ ඉදිරිපස ප‍්‍රධාන උළුවස්සට හේත්තු වී මඟ බලා ගෙන සිටියා ය. අප එනු දැක “අද මොකද ජෝඩුව වේලපහින් ම” යැයි සිනාවෙමින් ඇසුවා ය.

”නිකම් එන්න හිතුණා වේලපහින්” කියා ගෙන චන්ද්‍රා ගෙතුළට ගියා ය. ඇය කාමරයට ගොස් ඇඳුම් මාරු කොට මුහුණ කට සේදීමට ගියා ය. ඒ සමඟ ම අම්මා ඇගේ කාමරයට ගියා ය. මේ අතර ති‍්‍රරෝද රථය ද පැමිණියේ ය. මම අම්මා සිටි කාමරයට ගියෙමි. අම්මා ඇගේ යහනේ හරස් අතට, දෙකකුල් බිමට සිටින සේ නිදා සිටියා ය. ඒ ඉරියව්ව අසීරු ඉරියව්වක් බවත්, ඇය අමුතු ස්වභාවයකින් සිටින බවත් මට වැටහිණි. ති‍්‍රරෝද රියේ සේනාරත්න ද හිතවතකු බැවින් ඔහු ද මා සිටින තැනට ම පැමිණියේ ය. මම ඔහු ගේ ද සහාය ලබා ගෙන අම්මා ඔසොවා ඇඳේ නියමාකාරයෙන් තැබීමි. අම්මාට නින්ද ගොස් තිබුණේ ද නැත.

මේ වන විට චන්ද්‍රා සූදානම් වී “අම්මට ලැහැස්ති වෙන්න කිව්වේ නැද්දැ” යි අසා ගෙන කාමරයට ආවා ය.

”කෑ ගහන්න එපා. අමුත්තක් දැනෙනවා. තව ටිකක් බලමු” යි මම කීවෙමි. අම්මාට ඇහෙන්නට පිරිත් ටිකක් කියන්නට ඕනෑ යැයි සිතුණු මම අම්මා ගේ හිස තියෙන පැත්තෙන් කුඩා පුටුවක් තබා හිඳ ගත්තෙමි. අම්මාට ඇහෙන්නට ම හඬ නඟා පන්සිල් සමාදන් වූයෙමි. ඊළඟට තෙරුවන් ගුණ පාඨ කියා වන්දනා කළෙමි. ඉන් පසු එක් අතක් අම්මා ගේ හිසට තබා ගෙන රතන සූත‍්‍රය කියන්නට පටන් ගතිමි.

මේ වන විට අම්මා අහසට අත දිගු කරමින් “හරි හරි මම එන්නම්” යැයි කීවා ය.

රතන සූත‍්‍රය කියා “සංඝා නමස්සාමි සුවත්ථි හෝතු” යි අවසන් ගාථා පාඨය කියනවාත් සමඟ ම ෂූ... යන හඩින් අම්මා අවසන් හුස්ම හෙළුවා ය.

චන්ද්‍රා ගේ වුවමනාව මත අප වෙළෙඳසල වසා ඒ වේලාවේ ගෙදර නොපැමිණියා නම් අම්මා ගේ මරණය සිදු වූයේ කොයි වේලේ දැ යි කිසිවකු දන්නේ ද නැත. එසේ ම දහවල් 2 ට පමණ දරුවන් පාසල ඇරී ගෙදර එනතුරු කිසිවකු දන්නේ නැත. එදා කඩය වසා ගෙදර එන්නට හිත් දුන්නේ ඇයි දැයි චන්ද්‍රාවත් දන්නේ නැත. “මට නිකම් හිතුණා අම්මා දුර්වල නිසා බෙහෙත් ටිකක් අරගෙන දුන්නොත් හොඳයි කියා. ඒකයි එන්න හිතුණේ” යි ඇය කීවා ය. මේ සියල්ල ති‍්‍රරෝද රියේ රියැදුරු මහතා ද බලා ගෙන ය.

ඊළඟට චන්ද්‍රා ගේ කතාවයි. ඇයට වයස අවුරුදු පනස් එකේ දී ආහාර ගැනීමේ අපහසුතාවක් වැළඳිණි. ආයුර්වේද වෙදකමෙන් ද බටහිර වෙදකමෙන් ද වෛද්‍යවරුන් ගෙන් හා වෛද්‍ය විශේෂඥයන් ගෙන් ප‍්‍රතිකාර ලබා දුන්න ද එයින් කිසි ම ගුණයක් ලැබුණේ නැත. ආහාර ගනු ලැබුයේ ඉතා ම ස්වල්පයකි. එහෙත් පලතුරු හා වඩාත් පෝෂ්‍යදායී පිටි කිරි වර්ග ද විටමින් වර්ග ටික ටික හෝ නිතර ලබා දීම නිසා ඇය ශාරීරිකව දුර්වල වූයේ ද නැත. ගෙදර දොර සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කළා ය. ප‍්‍රතිකාර කළ සෑම වෛද්‍යවරයකු ම නිගමනය කළේ ඇයට අම්ලපිත්ත (ගැස්ට‍්‍රයිටීස්) රෝගය ඇති බව ය. ඒ නිසා මිරිස් හා ඇඹුල් අධික ආහාරවලින් වැළකී වැඩිපුර දියර ආහාර ගනිමින් ප‍්‍රතිකාර ලැබුවා ය. මේ අතර දාන මාන, බෝධි පූජා ශාන්ති කර්ම ආදිය ද ඇගේ සහභාගීත්වයෙන් ම කළෙමු.

අවසානයේ විශේෂඥ වෛද්‍ය පරාක‍්‍රම දිසානායක මහතා වෙත ඉදිරිපත් කරන ලදුව ඇයට අක්මාවේ පිළිකාවක් වැළඳී ඇතැයි නිගමනය කැරිණි. එය මටත්, දරු තිදෙනාටත්, සමීප නෑදෑ හිතවතුන්ටත් බලවත් වේදනාවක් හා කම්පනයක් වීය. එහෙත් චන්ද්‍රා පුදුම ආත්ම ශක්තියකින් කඳුළක් නොහෙළා (අපට පෙනෙන්නට) සිනහ මුහුණෙන් ඊට මුහුණ දුන්නා ය.

ඇය වයස අවුරුදු පනස් තුනේ දී ජීවිතයෙන් සමුගත්තාය. ඇය මියගියේ බිරියක වශයෙන් හා මවක වශයෙන් ඉටු කළ යුතු යුතුකම් සියල්ල නිමා කිරීමෙන් පසුව ය. අපේ තරමේ හැටියට ගේදොර අලුතින් සාදා නිම කොට දරු තිදෙනාටද උගන්වා රැකියාවලට ගිය පසු ව ය. ඇගේ ධෛර්යය නොවන්නට මේ කටයුතු කිසි විටෙක මේ අයුරින් ඉටු නොවනු ඇත. ඇය නියමිත රාජකාරියත් ඉටු කොට ආපසු ගියා හා සමාන ය. පවුලේ කටයුතු මෙන් ම ඇසුරු කළ සමාජයේ යුතුකම් ද ආගමික කටයුතු ද ඇය මැනවින් ඉටු කළා ය.

ඇය අසනීප වී රෝගය හඳුනා ගත් අවසන් වසර තුළ අපේ ආදායම් මාර්ග ඇන හිටියේ ය. එහෙත් ඥාති මිත‍්‍රයන් ගේ උදව් උපකාර මත අපට කිසි ම දෙයකින් අඩුවක් වූයේ නැත. ගරුතර මහා සංඝ රත්නයේ ආශීර්වාදය ද එසේ ම වී ය. විශේෂයෙන් ම බෙල්ලන පිරිවෙනේ ස්වාමීන් වහන්සේ සතියකට වරක් වැඩම කොට සෙත් පිරිත් දේශනා කළේ තම මවට දක්වන කරුණාවෙන් ම ය. අවට විහාරස්ථානවලින් ද එසේ ම ය.

සතියකට වරක් මතුගම සිට මහරගම රෝහලට යන ගමන සඳහා “මට බස් එකේ යන්න පුළුවන්. බොරුවට වාහන වලට වියදම් කරන්න එපා” යැයි ඇය පැවසුව ද කවුරු හෝ ඒ ගමනට වාහනයක් සපයා දුන්හ. ඉඳ හිට දිනක බස් රියෙන් මහරගම රෝහලට ද ගිය ද එහි දී කවුරුන් ම හෝ කෙනකු මුණගැසී එතැන සිට ගෙදරට ම එන්නට පහසුකම් යෙදුණි. ඇය මහරගම රෝහලේ නේවාසිකව සිටිය දී බෙල්ලන පිරිවෙනේ ස්වාමීන් වහන්සේ තිස් පස් නමක් රෝහලට වැඩමවා සෙත් පිරිත් දේශනා කළහ. රෝහල පුරා සිටින රෝගීන්ට ද පිරිත් පැන් දෙමින් පිරිත් නූල් ගැට ගසමින් රෝගීන්ට කළ ආශීර්වාදය අසිරිමත් වීය. එදින නෑදෑ හිතවතුන් ගේ සහයෙන් තැඹිලි, පලතුරු හා යෝගට් දානයක් ද රෝගීන්ට පිරිනැමිණ. ඇය රෝගීව සිටින විට “මට හෙට අසවල් දෙය ඩිංගක් කන්නට ඇත්නම්” යැයි කියූවොත් පසු දින ඇය බලන්නට එන හැම කෙනකු ම ඒ වර්ගය ම ගෙන ඒම පුදුමයට කරුණක් වීය. ඒ අපේ දැනුම් දීමකින් නම් නොවේ. ඇය අඹ කෑමට ප‍්‍රිය කළා ය. ඒ දිනවල බොහෝ දෙනෙක් අඹ ගෙනාහ. එසේ ම අපේ මිදුලේ තිබෙන කිසි ම දිනයක අඹ නොහැදුණු රට අඹ ගසේ ද ඒ වාරයේ අඹ පල ගත්තේ ය. එසේ ම ඇගේ මරණයෙන් පසු ව එහි අඹ ඵල හට ගත්තේ නැත.

මා ලියූ පොත් කියැවූ දුරකතනයෙන් හඳුනා ගත් රත්නපුරයේ වැදගත් ප‍්‍රභූ පවුලක් වීය. ඒ භද්‍රා මාරපන පවුල යි. මාරපන මැතිනිය සෑම දිනක ම රාති‍්‍ර 9.00 න් පසු චන්ද්‍රා සමඟ විනාඩි 45 ක් පමණ දුරකතනයෙන් සතුටු සාමීචියේ යෙදුණා ය. ඒ ඇගේ සිත සුවපත් කිරීමට ය. මාරපන මැතිනිය ගේ නම ද චන්ද්‍රා ය. පවුලේ අය ඇය අමතන්නේ සුදු හාමිනේ නමිනි. මගේ බිරිය ද චන්ද්‍රා ය. ඇයට ද කුඩා කල සිට ම සුදු හාමිනේ යැයි නම පටබැඳී තිබිණි. මාරපන මැතිනිය කියන්නේ මෙය සංසාරික සම්බන්ධතාවක් බවයි’

2004 අපෙ‍්‍ර්ල් මාසයේ ඉතා උණුසුම් දිනයක සවස 6.00 ට පමණ චන්ද්‍රා දියණියන් දෙදෙනා ඇමතුවා ය. “බලන්න මේ දවස්වල දහදිය ගලන හැටි. හරිම රස්නෙයි. ඔයගොල්ලො මට පටි නයිටියක් මසා දුන්නේ නැහැනේ” යි කීවා ය. ඇයට අවශ්‍ය වූයේ උරහිස්වල පටි දැමූ රාති‍්‍ර ඇඳුමකි. ඇය නිතර ම ඇන්දේ අත් සහිත සිරුර නොපෙනෙන ඇඳුම් ය.

”ඇයි චන්ද්‍රා! ඔයා ම නේද ඉස්සර ළමයින්ට අවවාද කළේ ගෑනු ඇඟ පෙනෙන්නට අඳින්න හොඳ නෑ කියලා” යැයි මම විහිළුවට ඇයට සිනාසුණෙමි.

ඇය මා දෙස බලා පරාජය බාර ගත්තා සේ බිම බලා ගත්තා ය. ඊට පසු දින උදේ 8.00 වන විට රත්නපුරේ මාරපන යුවළ ඇය බැලීමට අපේ ගෙදරට පැමිණිය හ. ඔවුන් ගෙනා තෑගි බෝග අතර පටි ඇල්ලූ නයිටි ද ගෙනැවිත් තිබුණි. එය ද අපේ කිසිම දැනුම් දීමකින් නොවේ.

මගේ බිරිය රෝගීනට ඇප උපස්ථාන කළා ය. දුගී මගී යාචකයනට, විශේෂයෙන් ම පුලන්නන්ට දන් දුන්නා ය. ඇගේ මවටත්, මගේ මවුපිය දෙදෙනාටත් ඉතා ඕනෑකමින් හා ඉවසීමෙන් සාත්තු සප්පායම් කළා ය. මහා සංඝරත්නයට ශ‍්‍රද්ධාවෙන් දන් දුන්නා ය. කර්ම විපාකයක් ලෙස පිළිකා රෝගය වැළඳුණ ද ඇයට අවශ්‍ය සියලු දෙය ලැබුණේ ඇගේ දන් පින්වල දිට්ඨ ධම්ම වේදනීය ආනිශංසයෙනියි සිතමි.

බෙල්ලන පිරිවෙනේ පරිවෙණාධිපති නා හිමියන් ගේ වැඩිමහල් ශිෂ්‍යයා රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති කඹුරාවල සිරි රේවත හිමියෝ ය. මාත් මගේ බිරියත් උන් වහන්සේට සලකන්නේ අපේ ම දරුවකුට ලෙසිනි. මේ වන විට උන් වහන්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ස්කොට්ලන්තයට වැඩම කොට සිටියහ. උන් වහන්සේ ලංකාවට වැඩම කළ සෑම දිනයක ම තමන් ගේ මවුපියන් බලන්නටත් පෙර මගේ රෝගී බිරිය ගේ සුව දුක් බැලීමට පැමිණි සේක.

අවසාන භාගයේ දිනක “මම මැරෙන්න කලින් ආයෙත් රේවත හාමුදුරුවන් දැක ගන්න ලැබෙන එකක් නැහැ නේදැ” යි දිනක් චන්ද්‍රා මගෙන් විමසුවා ය. සතියක් ගත වූයේ නැත. රේවත හිමියෝ හදිසියේ ම ලංකාවට වැඩම කළහ. අපේ නිවසට ද වැඩම කොට ඇයට සෙත් පිරිත් දේශනා කළහ. ස්කොට්ලන්තයේ සිට ම ඖෂධ වර්ග පවා ගෙනැවිත් තිබිණි.

2004 මැයි මාසයේ 19 දින ප. ව. 3.00 වන විට චන්ද්‍රා ගේ සියලු ඉන්ද්‍රියයන් කි‍්‍රයා විරහිත බවක් පෙනිණි. ඇගේ ශරීරය අප‍්‍රාණික ය. යම්තමින් හුස්ම වැටෙනවා පමණි, කතාවක් ඇස් හැර බැලීමක් පවා නැත. වහාම වෛද්‍යවරයකු ගෙන්වා සේලයින් දෙන්නට උත්සාහ කළත් එය ද සාර්ථක නො වී ය. මේ අතර බෙල්ලන පිරිවෙනෙන් ස්වාමීන් වහන්සේ පැමිණ සෙත් පිරිත් දේශනයක් ද කළහ. අප හැම කෙනෙකු ගේ ම නෙත් කඳුළින් පිරී ඇත. රාතී‍්‍ර 7.00 ට පමණ මතුගම රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයා කැඳවා සේලයින් දීමට උත්සාහ කළ ද එයත් අසාර්ථක වීය.

”අපට වඩා නර්ස්ලට පළපුරුද්ද තියෙනවා. පුළුවන්කමක් තිබුණොත් හෙට උදේට රෝහලට ලෙඩාව ගෙන එන්නැයි” පවසා වෛද්‍යවරයා යන්නට ගියේ ය.

පසු දා උදේ ද ඒ තත්ත්වය ම තිබූ නිසා ඇගේ අක‍්‍රීය ශරීරය රෝහලට ගෙන ගියෙමු. හෙදියක් එක් වර ම සාර්ථකව සේලයින් ශරීර ගත කිරීමට සමත් වූවා ය. චන්ද්‍රා ඇස් ඇර බැලුවා ය. එහෙත් කතා කිරීමට නො හැකි ය. අප කියන දේ හොඳින් ඇයට ඇසෙන බව පෙනෙන්නට තිබිණි. මේ මැයි මස 20 වෙනි දා ය. දැන් ඇයට සේලයින් සමඟ විටමින් වර්ග ශරීර ගත වෙයි. එදින රාති‍්‍ර 7.00 ට පමණ මම ඇගේ දෑත් අල්ලා ගෙන “චන්ද්‍රා මේක ගැහැනු වාට්ටුවක් නෙ. අපිට ඉන්න බැහැ නෙ. චූටි දුව ඔයාගෙ ළඟ නතර වෙලා ඉන්නවා. පුතයි මමයි ගෙදර ගිහින් පාන්දරින් ම එන්නම්” යැයි කීවෙමි. ඇය උගුරෙන් ගොර ගොර හඩින් මොනවා දෝ තෙපළා ය. එය “හොඳයි ගිහින් එන්න හෝ ඔයා එන්න කලින් මමත් මෙහෙන් ගිහින් තියේවි” යන්න විය හැකි ය. පසු දින පාන්දර 5 වන විට මමත් පුතාත් රෝහලට ගියෙමු. චූටි දුව හඬා ගෙන අප ඉදිරියට ආවා ය. චන්ද්‍රා පාන්දර 3 ට අපෙන් සමුගෙන ගොස් තිබිණි. ඇගේ සිරුර රෝහලෙන් නිදහස් කැර ගැනීම සඳහා ඇගේ රෝග නිර්ණය වෛද්‍ය වාර්තා අවශ්‍ය බැවින් පුතා සහ අනික් ඥාතීන් එහි සිටිය දී මම යතුරු පැදියෙන් වහා ම නිවසට ආවෙමි. මා එන විට නිවසේ දුරකතනය නාද වෙමින් පැවතිණි. මම ඉක්මනින් දොර හැර දුරකතනය ගතිමි. ඒ ස්කොට්ලන්තයේ සිටින රේවත හාමුදුරුවෝ ය.

”මහින්ද මහත්තයා මගේ ෆෝන් කාඩ් එකේ සල්ලි ඉවර වේගනයි යන්නේ. කට් වෙන්න කලින් මම ඔන්න කතාව කියනවා. මේක හීනයකුත් නොවෙයි. හැබැහිනුත් නොවෙයි. ඊයේ දීප්තිමත් සුදු සාරියක් හැඳ ගත් කාන්තාවක් අපේ විහාරයට ආවා. මම බැලුවා මේ අවේලාවේ කවුද මෙහෙම තනියම කියා. ඇය මට පිටුපා ගෙන විහාරයට ගියා. ධාතු කරඬුවට පසඟ පිහිටුවා වැන්දා. ආපසු මා දෙසට හැරී ආවා. එතකොටයි මම හඳුනා ගත්තේ “චන්ද්‍රා නෝනා කොහොමද මෙහෙ” කියලා මට ඉබේම කියැවුණා.

එතකොට චන්ද්‍රා නෝනා “හාමුදුරුවනේ, මම නිදහස් වුණා” යි හිනැහෙමින් කියා ගෙන ඇවිත් මට වැඳලා අතුරුදන් වුණා. මේකයි කතාව දැන් ලෙඩාට කොහොමද?” හාමුදුරුවෝ එක දිගට පවසා ඇසූහ.

”අනේ!! හාමුදුරුවෝ චන්ද්‍රා අද පාන්දර.....” මට ඉන් එහා කියාගත නොහැකි විය.

”අනේ... හ්...“ දුරකතනය විසන්ධි විය.

(http://www.silumina.lk)

No comments: