Friday, November 28, 2008

අපේ අල්මාරියේ රෙදි පිළි ගිනි ගෙන අළු වෙනවා

පුද්ගලයා යනු රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහෙන් නිර්මාණය වූ කෙනෙකි. යම් පුද්ගලයකුට ලෙඩක් දුකක් වේදනාවක් වැළඳුණු විට වෙද්‍ය ප‍්‍රතිකාර කරනුයේ රූපයට හෙවත් ශරීරයට පමණි.

ඒ හේතුව නිසා බොහෝ රෝගීහු වෙද්‍ය ප‍්‍රතිකාරවලින් පමණක් සුවය ලබාගත නොහැකිව දුක් විඳිති.

අතීතයේ ගම්බද චාරිත‍්‍ර වාරිත‍්‍රවලට අනුව කෙනකුට අසනීපයක් වැළඳුණු හැටියේ ම සිදු කළේ ගොක් කොළයක් පොල් ගසක බැඳ එහි පලදාව දෙවියන්ට බාර දීම ය.

රෝගියා සුවපත් වූ විට ඒ ගසේ පොල්වලින් තෙල් හිඳ දේවාලයකට ගොස් පහන් දල්වා භාරහාර ඉටු කිරීමට පොරොන්දු වීම ය. දෙවියන් ලෙඩ සුව නොකළා හෝ වේවා ඒ කි‍්‍රයාවෙන් තමන් සුවපත් වන බවට රෝගියා තුළ ධනාත්මක සිතුවිලි ගොඩනැඟෙන්නට වෙයි.

එවිට බාහිරින් ශරීර ගත කරන ඖෂධවලින් ශරීරය සුවපත්වීමේ වේගය වැඩි වෙයි. මන්ත‍්‍ර ස්තෝත‍්‍ර කීමෙන් ද තෙරුවන් ගුණ කීමෙන් ද පිරිත් දේශනවලින් ද රෝගියා තුළ ඉක්මනින් සුවපත් වීමේ බලාපොරොත්තුව, අධිෂ්ඨානය, ධනාත්මකව මනසට බලපායි.

පිරිත් සූත‍්‍ර ආදියෙන් සත්‍යකි‍්‍රයා බලය ද ගොඩ නැඟෙයි. පුද්ගලයා පාපයෙන් වැළකී දැහැමි වන විට ද දෙවියන්ගේ හෝ වේවා, විශ්ව ශක්තියේ හෝ වේවා බලයෙන් ස්කන්ධ පහ ම පවිත‍්‍ර වී රෝගාබාධ සුවපත් වීමේ ප‍්‍රවණතාව වැඩිවෙයි.

පසුගියදා කුරුණෑගල ප‍්‍රදේශයේ අඹු සැමි යුවළක් තමන්ගේ වයස අවුරුදු 12, 10 පුතකු හා දියණියක සමඟ ගලිගමුවේ ඥානදීප හිමියන් හමුවට පැමිණියහ.

තම නිවසේ වානේ අල්මාරිය ඇතුළේ තිබූ රෙදි පිළි ගිනි ගෙන අළු බවට පත් වන බවත්, රෙදි වැලේ වේළෙන්නට දමා තිබෙන තෙතමනය සහිත රෙදි පවා ගිනි ගන්නා බවත්, බලා සිටියදී මුදුන් යටලීයෙන් පවා ගිනි දලු මතුවෙන බවත් පවසා සිටියහ.

මෙවැනි සිද්ධිවලදී බොහෝ දෙනා මේ කතා විශ්වාස කරන්නේ නැත. මේවා ගෙදර කෙනකු විසින් ම කරනු ලබන බව බොහෝ දෙනා ගේ විශ්වාසයයි.

පවුලේ ම හෝ නිවසේ ම සිටින අයකු විසින් එසේ කරනු ලබන්නටත් පුළුවන. එසේ ම නිවසේ සිටින කෙනකු ලවා අමනුෂ්‍යයෙකු විසින් කරවනු ලබන්නටත් පුළුවන. මෙවැනි දේ සනාථ කරන්නට ති‍්‍රපිටකයේ සඳහන් කරුණු ඉදිරිපත් කළ හැකි යැයි ද ඥානදීප හිමියෝ පවසති.

“සමහර අමනුෂ්‍යයන් තුළ ගිනි ගන්නා ස්වභාවය පවතිනවා. මේ රෙදි පිළි බඩු මුට්ටු ගිනි ගැනීමේ සිද්ධිවලදී ඇත්තටම අමනුෂ්‍යයා ගිනි තියනවා ම නොවේ. ඉතා ම බරපතළ අකුසල් මත පෙ‍්‍ර්ත ලෝකයේ ඉපැදුණු සමහර අමනුෂ්‍යයෝ ගින්නෙන් දැවෙමින් දුක් විඳිති.

අපේ පියවි ඇසට නොපෙනෙන තරම් සියුම් වූ ඒ ඕපපාතික ශරීරවලින් නිකුත් වන ගින්දර ද සියුම් බැවින් අපට පෙනෙන්නේ නැත. එහෙත් ඒ සමහර පෙ‍්‍ර්තයන්ට තමන්ගේ ශරීරය ගොරෝසු කැර ගැනීමේ හැකියාව ද ඇත.

එවැනි පෙ‍්‍ර්තයන් තමන්ගේ ශරීර ගොරෝසු කැර ගන්නට උත්සාහ කරන විට ඔවුන්ගේ ශරීරවලින් ගින්දර පිටවී ඔවුන් ඇසුරු කරන තැන්වල ඇති බඩු මුට්ටු ද ගින්නෙන් ඇවිළී යයි.

මෙවැනි පෙ‍්‍ර්තයන් කීප දෙනකු මහ රහතන් වහන්සේට හමුවූ සිද්ධි සංයුක්ත නිකායේ ලක්ඛණ සංයුක්තයේ සඳහන් වෙයි. භික්ඛු සූත‍්‍රයේ හා භික්ඛුණි සූත‍්‍රයේ සඳහන් දේශනාවලින් මෙවැනි ගිනි ගන්නා පෙ‍්‍ර්තයන් ගැන විස්තර කියැවෙයි.

දිනක් ලක්ඛණ මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ සමඟ ගිජ්ජකූට පර්වතයේ සිට පහළට බැස යද්දී ගිනි ගෙන දැවෙමින් අහසේ පාවී යන භික්ෂුවක් දැක්කා.

ඒ භික්ෂුවගේ සිරුර, සිවුර, පාත‍්‍රය, අඳනය පවා ගිනි ගනිමින් ගිනි දලු පිටවෙනවා දැක්කා.

ශරීරයේ සම් මස් නහර පවා ගිනි ගනිමින් ඒ වේදනාවෙන් විලාප දෙමින් අහසේ එහා මෙහා පාවෙමින් කෑගසන අයුරු පෙනුණා. ඒ වගේ ම ගින්නෙන් දැවෙමින් දුක් වේදනා විඳිමින් අහසේ පාවී යන භික්ඛුණියකුත් දැක්කා.

ම් ගිනි ගනිමින් පාවී යන භික්ඛු, භික්ඛුණීන් දුටු මුගලන් මහ රහතන් වහන්සේට සිනහ පහළ වුණා. ලක්ඛණ මහ රහතන් වහන්සේ මුගලන් හිමියන්ගෙන් “ස්වාමීනි! සිනහ පහළ වූයේ ඇයි දැ’යි ඇහුවා. ඒ ගැන බුදු රජාණන් වහන්සේ ගේ ඉදිරියේ දී අහන්නැයි මුගලන් මහ රහතන් වහන්සේ පිළිතුරු දුන්නා.

ලක්ඛණ මහ රහතන් වහන්සේ ඒ පැනය නැවතත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී විමසා සිටියා.

“ලක්ඛණ! ඔය අමනුෂ්‍යයන් මීට කලින් මමත් දැක්කා. තවත් කෙනකු එය දකින තුරු මා ඒ ගැන ප‍්‍රකාශ නොකළේ එය සමහරු නොපිළිගන්නා නිසයි. බුද්ධ වචනය සැක කිරීමෙන් අකුසල් කැරගන්නා නිසයි. ඒ ගිනි ගනිමින් දැවෙන්නේ කාශ්‍යප බුද්ධ සාසනයේ පැවිදිව සිට දුස්සීලකම් කළ පාපී භික්ෂුවක්” යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

මෙවැනි ශරීර ගිනි ගන්නා අයුරු හා ඒ ගින්නෙන් දැවෙමින් දුක් විඳින අමනුෂ්‍යයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේත් මෙසේ දේශනා කැර තියෙනවා. ඒ වගේ ම ගිනි තියාගෙන සියදිවි හානි කැර ගන්නා අයත් ඒ වේදනාව ම උපාදාන කැරගෙන ගින්නෙන් දැවෙන අමනුෂ්‍ය ආත්මවල උපත ලබනවා.

අනුන්ගේ සිරුරුවලට ගිනි තබා මිනී මරන අයත්, සමහර සත්ත්වයන් පණ පිටින් පුළුස්සා මරණ අයත්, එවැනි ගින්නෙන් දැවෙන පෙ‍්‍ර්තයන් වී උපදිනවා. ගිනි තියාගෙන මැරෙන අය අමනුෂ්‍ය ලොව ඉපැදිලත් ඒ වේදනාව අවසන් නො වී දුක් විඳිනවා.

මෙවැනි අමනුස්සයන් ඒ ගින්නෙන් මැරෙන්නේ නෑ. සම් මස් නහර පිච්චීගෙන ගොස්, නැවත සකස් වෙමින් නැවතත් පිළිස්සෙනවා. ඒ කර්ම විපාකය පල දෙන්නේ එහෙමයි. ඔවුන්ගේ ශරීරය පිච්චුණත් ඕපපාතික උපතක් නිසා මැරි මැරී එහි ම උපදිනවා.

ඒ වගේ ම තවත් කෙනකු ගේ හිතට දුක් ගිනි දෙන උදවියත්, අනුන්ගේ දුක පිළිබඳ වටහා නොගෙන දුක් ගිනි දෙන නිලධාරීන් හා පාලකයන් පවා මෙවැනි අමනුෂ්‍ය ආත්මවල ඉපදී දැවෙමින් දුක් විඳිනවා.

එවැනි දුක් පීඩා විඳින අමනුෂ්‍යයන්ට පින් අනුමෝදන් වෙන්නත් අමාරුයි. ඔවුන් ගේ සිත් දැවෙන වේදනාවෙන් පීඩා විඳින නිසා පින් අනුමෝදන් වෙන්න, පින අනුමෝදන් වී සතුටු වෙන්න ඒ සිතට ඉඩක් නැහැ.

පින යනු පිනා යෑමයි. තමන් වෙනුවෙන් ඥාතීන් පින් දහම් කොට පින් අනුමෝදන් කරන විට සිත සතුටු වී පිනා යෑමෙන්, ඒ පිනේ ශක්තියෙන් පෙ‍්‍ර්තාත්ම භාවයෙන් මිදී උසස් වෙනවා. ඒ වගේ පින්කම් දැක සතුටුවෙන්න ගින්නෙන් දැවෙන පෙ‍්‍ර්තයාට බැහැ. ඒකයි ඒ පෙ‍්‍ර්තයන්ට පින් අනුමෝදන් වෙන්න බැහැය කියන්නේ.

ඒ නිසා එවැනි බරපතළ අකුසල් කළ ඥාතීන් මැරී දුක් විඳින පෙ‍්‍ර්තාත්ම ලබා නිවෙස්වලට පැමිණ තමන්ගේ දුක ඥාතීන්ට පෙන්වන්න ගොරෝසු ශරීර මවා ගන්නා විට ඒ අමනුස්සයා ගොරෝසු ශරීරයෙන් ගිනි දලු පිට වෙනවා. ඒ ගින්නෙන් රෙදි පිළි බඩු මුට්ටු ගිනි ගන්න පුළුවන්.

එවැනි අමනුෂ්‍යයන්ට පින් අනුමෝදන් වෙන්න බැහැ. එහෙත් දානමානාදී කුසල් සිදු කොට පින් අනුමෝදන් කිරීම ඥාතීන්ගේ යුතුකමක්.

ඒ වගේ ම ළිං කැපීම, ළිං කැපීමට ඉඩම් පරිත්‍යාග කිරීම, ළිං කැපීමට උදව් කිරීම, ළිං පිරිසිදු කිරීම මහත් කුසල කර්මයන්. ඒ වගේ ම කුසගින්නෙන් පෙළෙන අයට ආහාර පානයෙන් සංග‍්‍රහ කිරීම, කුසගින්නෙන් පෙළෙන, පැටවුන් දැමූ සතුන්ට ආහාර දීම, ගින්නෙන් පිළිස්සුණු රෝගීන්ට උදව් ප‍්‍රතිකාර කිරීම වැනි පිංකම් ඉතා වැදගත්.

කුරුණෑගල රෙදි පිළි ගිනි ගන්නා ගෙදර අයටත් තමන්ගේ ආරක්ෂාවට පින් දහම්වල යෙදී නිවසේ උදේ හවස තෙරුවන් වැඳ රතන සූත‍්‍රයෙන් පිරිසිදු පැන්වලට ජීවම් කොට නිවස පුරා ඉසීමටත් ඥානාදීප හිමියෝ උපදෙස් දුන්හ.

මතුගම මහින්ද විජේතිලක

No comments: